Monday, February 9, 2015

තහනම් ගස



සමාජය යන්න තත්පරෙන් තත්පරේ නිශ්චිත හැඩයක් නොමැතිව විචලනය වන්නා වූ ප්‍රස්තාරයක් බදුය. ඔබට අද දකින්න තියන සමාජය රැයේ ඇස් ඉදිරි මානයේ විකාශනය වන්නා වූ
සිහිනියෙන් මෙන්ම යථාර්තයෙන් ඔබ්බෙහි වුවක් විය හැක. මෙසේ වෙනස් වන්නා වූ අරුම පුදුම මෙවලමක් බදු වූ සමාජයේ නවමු මුහුණක් රැගෙන පුවත්පත් අන්තර්ජාල කාක්කන්ට කප් රුකක් බදු වූ "රූම්" විෂය කරළියට නවමු මානයකින් ගෙන එන්නට අවසර.
රූම්? කුමක්ද මෙය? සුද්දා කිව් ඉන්ගිරීසියේ හැටියට කාමරයකි. නමුත්  ශ්‍රී ලාංකේය ඇහින්දාස් ශබ්ද කෝෂයට එක් වූ එකේ දෙකේ පොඩි එකාත් දන්නා රූම් යන්න මාගේ අරුත් දැක්වීමට අනුව
තහනම් ගසේ ගෙඩි කෑමකි , නැතහොත් මනුෂ්‍යත්වය සිල්ලරට ඇදක් උඩ විකිනීමකි, නැතහොත් සමාජ අසම්මතය සාධාරිණීකරන කරමින් මනුස්ස සතාගේ සන්තානයේ සිරවූ තිරිසනා එලියට
ඇද දැමීමකි.
එදා පියල් නන්දා ආදරය විදිද්දි තිබූ රස, ඒ අවංක හැගුම අද තාරුණ්‍ය තුලින් ගිලිහි ඇති සෙයකි. රෙද්ද උනා දමා නන්දා සහ පියල් "රූම්" එකට තුලට වැදුනා යැයි ඒ කිසිදු තැනක සදහනක්
නොවන බව මාගේ මතකයේ හැටියට නිවැරදිය.
මාගේ මේ අකුරු හරඹයට මුඛ්‍ය වූ ප්‍රස්තුතය වන්නේ, සති අන්ත පුවත්පතක පොල් අකුරෙන් මුද්‍රිත රූම් පිලිඹද වූ කතන්දරයකි.
මා කුඩා කල ඉරිදා පොලේ මාගේ ආදරණීය මව සමග අතේ එල්ලි සත 25 ලොසින්ජරයක් හීන මවමින් ඔබ මොබ සැරිසරද්දි නෝනා එන්න බෝංචි 500 20 යි, යනාදී ලෙස පොරකමින්
තමන්ගේ අස්වැන්න විකුන්නන්ට තැත කෑ වෙලදුන්ගේ මොඩ් වූ අමුතුම ප්‍රතිරූපයක් අද සමාජ ගත වී ඇත.
ආදරණීය යුවලක් පාරේ ඇවිදින විට එන්න මහත්තයා යන්න කියමින් බලෙන් තමන්ගෙ රථයට නග්ගා ගන්න එකිනෙකා හා පොර කන ත්‍රී විල් රථ රියදුරන් මේ නූතන යැයි කියගන්නා අවශිෂ්ට
සමාජය තුල දැක ගැනීමට හැකිය.
වැරැද්ද කොතනද? ත්‍රී විල් රථ රියදුරාගේද? නොමැත. ඉල්ලුමේ හැටියට අනුවයි සැපයුම ගොඩ නැගෙන්නේ, එසේ නම් රූම් සදහා වූ ඉල්ලුම සදහා වූ සැපයුම වක්‍රාකාරව ත්‍රී රෝද රියදුරන් තුලින්
ගොඩ නැගී ඇත.
එසේ වුවත් කම් නැත. ලිංගිකත්වය ආදරය සමග මුසු වූ ඒ මොහොත කුමක්ද? මා මේ අසනුයේ ලෝකයේ හරි මැද කුමක්ද වැනි ප්‍රශ්නයක් විය හැක. නමුත් රෝගයට ප්‍රතිකාර කිරීමට ප්‍රථම
රෝග ඉතිහාසය දැන සිටිය යුතුය.
ඊයේ අද හා සසදන ඒ ඕලාරික බුද්ධි ගෝචර නොවු ක්‍රියාව තුලින් ලියුම කෙටි පනිවුඩයෙන් රිප්ලේස් වීමේදි, රිප්ලේස් නොවු අහසෙන් පාත් වූ ස්වයංජාත මිස් කෝල් සංකල්පය රූම් සමග කරට කරට යන්නා වූ මාතෘකාවකි.
මා කියවූ ආකරයට රූම් සදහා වැඩිම ඉල්ලුම ඇත්තේ සති අන්ත දිනවලය. සති අන්තය ටියුෂන් සදහා පොල්මඃකාර අද්මිනිස්ත්‍රක්කාර සින්නක්කර අයිතිය උරුමකරගෙන ඇත. මේ ටියුෂන් සදහා සහභාගි වන්නා වූ බහුතරය රන් හැන්ද කටේ තියාගෙන ඉපදුන වුන් නොවේ යන්න තිත්ත ඇත්තයි. උදේ හතරට පමණ ඉර සේවයට කලින් සේවයට වාර්ථා කරන්නා වූ දයාබර මැණියන්ගේ ආදරය මුසු වූ බත් පත රැගෙන ටියුෂන් එකට පැමිණෙන ගැහැණු දරුවා ගැහැණියක් වී ගෙදර යාම එදා මැතිණියගේ ආණ්ඩුව තුල හැට පැනපු එබරන් ආතාලාගේ ලොඹු දත් හැලෙන්නට හේතුවක් වූවත් අද එවැනි කතන්දර පියා අතින් දියණිය දූෂණය වන කතන්දර අබියස බෙංගාල බොක්ක තුලින් යන්නා වූ පොල් කෙදි වැනිය. මොහොතකට නෙත් හැර විමසන්න පිපෙන්නට වෙර දරන නෙලුම් මල් කැකුල බලෙන් විකසිත කරන්නා වූ පාප කර්මය තුලින් සමාජගත වන ප්‍රශ්න කොතරම්ද?
සමාජය සැදි ඇත්තේ කැඩී බිදි වෙන් වන තුරු නෙත් සොරා ගන්නා මල් බදුන වෙනකකුගේ වරදින් කැඩි ගියත් චිඃ යන්නෙන් බලු පහුරු ගොඩක් ලෙස දැකීමටයි.
සමාජ ජාල වෙබ් අඩවිය නිසා සිදු වූ මරණ නිසා සමාජ ජාල වෙබ් අඩවි වසන්නට ගත් තීරණයට නොදැවෙනි කැකිල්ලේ තීන්දුවක් ලෙස රූම් වැසීම අතීසාරයට අමුඩ ගැසුවට එහා ගිය භීෂග්වාදී ප්‍රපංචයකි.
විවාහය යන සංකල්පය ගොඩ නැගී ඇත්තේ හුදෙක්ම ලිංගිකත්වය නීතිගත කිරීමට බලපත්‍රයක් ලබා දීමට නොවේ. එදා පන්සලේ මල් වෙන්දේසියෙදි අමරලා ජිනේලා දැක්ක , නන්දලාගේ මැණිකෙල නෙත් අස්සේ හැංගිච්ච ලෙන්ගතුකම දිවිය පුරා විදින්නටයි. එසේ නොමැතිව නන්දලාගේ , මැණිකෙලාගේ හැට්ට විනිවිද දිස් වූ තිරිසන් ඇස පිනාවා ගැනිම නොවේ. එහෙත් අද එය උඩු යටිකුරු වී ඇත .
මා එදිනෙදා භාවිතා වන වහරක් වන ඇටෙන් පොත්තෙන් එලියට එන්න කලින් අමා සැප සොයන්නට වෙර දරන කලිසමේ මුත්‍රා කරගන්නා කොල්ලො කුරුට්ටන්ගේ සහ කෙලි පොඩ්ඩියන්ගේ ඇස් ඉදිරිපිට ගෑණූ පිරිමි චුම්භනය කරන විට නාලිකාව මාරු කරන තමන්ගේ දරුවා රෝස කැලෙන් ඇහින්දා කියන ලිංගිකත්වය අරුමයක් ලෙස දකින්නට හුරු කරන්නා වූ මව්පියන්ගේ වරදක් දකිමි.
එවිට විශ්වය පිලිඹද කුතුහලෙන් පිපාසයෙන් ඉන්නා වූ නොදරුවුන් එම දැනුම උකහා ගන්නට විවිධ ක්‍රම භාවිත කරති. එම ක්‍රියා පටිපාටිය තුල නොදරුවන් සමාජයේ අහිංසක විද්‍යාගාර මීයන් බවට නිරායාසයෙන් පත්වේ.
නැතහොත්අවසානයේ ටච් ජංගම දුරකතනය, පශ්චාත් භාගයෙන් රූරා වැටෙන කලිසම, කලවා වලට සැත්කමකින් බද්ධ කලා බදු වූ හිර ඩෙනිම, ටියුෂන් අගල් 6 බංකුව මේ කියන්නා වූ කොටස් කරුවන්ගේ එකතුවෙන් රූම් සංකල්පය සමාජ ගත වී ඇත.

ප \ ලි : මෙය පූර්විකාවක් පමණි. සංවාදයට විවෘතයි.